Pages

Monday, June 21, 2010

ධීවර ගීතය......

ඇගේ හැඩරුව නෙතට කැන්දන
නෙතේ කදුලැලි නිවා සනසන
පාලු ගනදුර මකන සදවත,
දියට ඉහලින් නැගීයන් නුඹ......

ගැටී සියොලග ගතම වෙව්ලා
හමා යන මද මාරුතේ
සොයා ගොස් ඈ කියා දුන මැන
සයුර මැද තනි ජීවිතේ......

පරණ මාලු දැල මතට හිස හොවා
ඔරුකද සයනය කොට ගත සතපා
සැතපෙන්නටවත් වරම් නොමැති රැය
ගෙවීයන් නුඹ ගෙවීයන්...!

නැගී පෙණ පිඩු විසිරවී යන
වෙරළබඩ කිරි සයුර මෙන් නොව
මූද මැද නිසසල දැනෙයි,
හදේ ගඹුරින් තිබෙන හැගුමන්
නැගීඑයි යලි නැගීඑයි....

මගේ පොඩිපුතු ශිල්ප සයුරෙන්
එතෙර කරනට යමන් දියඹට
පබලු පොටකින් දියණියන් ගෙල
සරසවන්නට යමන් හනිකට
"ඉතින් ඔරුකද කිමද නතරව?
මාලු අහිනක් සොයා යමු අපි..."

දනිමි සොදුරියෙ සීත මැදියම
ඔබට නිදිසුව නොගෙන එන බව
එවන් රෑ කල යහන මත හිද
සොදුර නුඹ ඒ ගැයුව ගීතය
හෝ හඩින් හෝ හෝ හඩින්,
ඇසෙයි සවනට දැනෙයි සොම්නස.....

මැදියමේ ගත සරසවාගෙන,
සයුරු රැල නිති සිඹින දා බිදු
ඈත අහසින් හොරෙන් ගිලුහුන
තරුකැටයි නිල් තරුකැටයි
බලන් පොඩි පුත වහල සිදුරින්
ඒ මමයි පුත ඒ මමයි.......

වැසී පියවෙන දෙනෙත නිදි නැත
හඹල හුරු වූ දෑත සවි ඇත
මැවූ ලෝකය සොයා යන්නට
අපට ක්ෂිතිජය බොහෝ දුර නැත,

හැපී ඔරුකද, විසිර වී යන
බින්දු බින්දු ලුණු වතුර පෙවී,
රතුව ගිය ඇස් අයා බලපන්,
නැගෙන්නේ ඉර ගෙවෙන්නේ රැය
ඉතින් උණුසුම් ගෙපැළ ලග ඇත,
කපා යන් රැලි කපා යන්...!