Pages

Monday, June 21, 2010

ධීවර ගීතය......

ඇගේ හැඩරුව නෙතට කැන්දන
නෙතේ කදුලැලි නිවා සනසන
පාලු ගනදුර මකන සදවත,
දියට ඉහලින් නැගීයන් නුඹ......

ගැටී සියොලග ගතම වෙව්ලා
හමා යන මද මාරුතේ
සොයා ගොස් ඈ කියා දුන මැන
සයුර මැද තනි ජීවිතේ......

පරණ මාලු දැල මතට හිස හොවා
ඔරුකද සයනය කොට ගත සතපා
සැතපෙන්නටවත් වරම් නොමැති රැය
ගෙවීයන් නුඹ ගෙවීයන්...!

නැගී පෙණ පිඩු විසිරවී යන
වෙරළබඩ කිරි සයුර මෙන් නොව
මූද මැද නිසසල දැනෙයි,
හදේ ගඹුරින් තිබෙන හැගුමන්
නැගීඑයි යලි නැගීඑයි....

මගේ පොඩිපුතු ශිල්ප සයුරෙන්
එතෙර කරනට යමන් දියඹට
පබලු පොටකින් දියණියන් ගෙල
සරසවන්නට යමන් හනිකට
"ඉතින් ඔරුකද කිමද නතරව?
මාලු අහිනක් සොයා යමු අපි..."

දනිමි සොදුරියෙ සීත මැදියම
ඔබට නිදිසුව නොගෙන එන බව
එවන් රෑ කල යහන මත හිද
සොදුර නුඹ ඒ ගැයුව ගීතය
හෝ හඩින් හෝ හෝ හඩින්,
ඇසෙයි සවනට දැනෙයි සොම්නස.....

මැදියමේ ගත සරසවාගෙන,
සයුරු රැල නිති සිඹින දා බිදු
ඈත අහසින් හොරෙන් ගිලුහුන
තරුකැටයි නිල් තරුකැටයි
බලන් පොඩි පුත වහල සිදුරින්
ඒ මමයි පුත ඒ මමයි.......

වැසී පියවෙන දෙනෙත නිදි නැත
හඹල හුරු වූ දෑත සවි ඇත
මැවූ ලෝකය සොයා යන්නට
අපට ක්ෂිතිජය බොහෝ දුර නැත,

හැපී ඔරුකද, විසිර වී යන
බින්දු බින්දු ලුණු වතුර පෙවී,
රතුව ගිය ඇස් අයා බලපන්,
නැගෙන්නේ ඉර ගෙවෙන්නේ රැය
ඉතින් උණුසුම් ගෙපැළ ලග ඇත,
කපා යන් රැලි කපා යන්...!

Thursday, June 10, 2010

කටු කම්බි.........

අප ලන්ව තුරුල් වන තරමටම
වේදනා උච්ච වෙයි සොදුරිය
ඔබට නොපෙනේද ඔය කටු කම්බි?
අප දෙදෙන මැදි කරන් සිට ගත්ත.......

එය උඩින් පැන එන්න
සොදුර මට නොකියන්න,
සියොලගම තුවාලෙකි
දෙපා පමණයි ඉතිරි.....

කටු කම්බි පොට අතර
හිස් වු අවකාශයකි
මගේ අත රුවා ඉන්
ඔබෙ සුරත ගනිමි මම

එයද අල්ලාන, වැටට සාමාන්තර
ලෙසට අඩි තබන්නට සොදුර අපි ඉගෙන ගමු
ඈත යම් කෙලවරක මෙවැට කෙලවර වෙච්චි
තැනක ඔබ ඉදුරාම මටම හිමි;දනිමි මම

ඔබෙ උවන දෙස බලා-වරක් නෙත් පියා ගමි
එවිට මුලු ලෝකයම සිහින්,පටු තීරුවකි
නමුත් නෙත් හරින විට වැටට මෑතින් දිලෙන,
අනන්තය තෙක් දිවෙන නිල්ල මිටියාවතයි

නිදහසේ දුව ගොසින් නිල්ල මත නිදන්නට,
ගහක කොලයක සිසිල, සිහිල්බව විදින්නට
රැය පුරා නිදන්නට,දෙව්ලියන් දකින්නට
එකම එක බාධාව සොදුර,සුන්දර ඔබය.....

හැගුම්බර වී කලෙක,ඔබේ අත අල්ලගත්,
කනිසමට දහස් වර ශාප කර,ඔබේ ඔය;
සිනා වෙන නෙත් බලා සිනා වෙමි
ආදරය අන්ධය,අබ්බගාතය තවම....

Wednesday, June 9, 2010

මතකය

ඇගෙන් මිදෙන්නෙට මට අවැසි විය.
ඈ තියා ඇගේ
සුවද පොදක්වත් නොමැති
ලොවක් තැනිය යුතුය......
නමුත්,
ඇගෙන් මිදිය නොහැකි සේ
ඈ මා වෙලාගෙන සිටී..........

හදගැස්ම තුල
ජීවත් වෙමින් සිටි
ඇගේ මතකයන්
දැන්,
රුදිරය වී
මා ගත පුරා සරිසරයි...
පලමුව ඇගේ මතකයන්
පන්නා දැමිය යුතුය.....

මගේ කලවය මිරිකා
බල නහරය සොයා
එය දෙකඩ කෙරුවෙමි...
ඇගේ මතකයන්
දෝරේ ගලා එන්නට විය...
රතුම රතු පාටයි...!
මට මහත් සතුටක්
දැනෙයි.....

ඇගේ මතකයන් මට මහ වදයකි.
සුවසේ නිදන්නට නොදේ.
මදහසක් නගන්නට නොදේ.
මොකටද මේ ජීවිතේ?
ඇගෙන් මිදී,නව ජීවිතයක්
ඇරඹිය යුතුය....
මටම කියා ජීවිතයක්
තිබිය යුතු නොවේද?

කෙමෙන් ඉවත්ව යන
ඇගේ මතකයන්
දෙස බලා,
මම සිනා සුනෙමි....
කොක් හඩලා සිනාසුනෙමි.
තව නොබෝ වෙලාවකින්,
ඈ මගෙන් මුලුමනින්ම,
සමු ගනු ඇත..
එවිට මම නිදහස් මිනිසෙක්මි!

නමුත්,
මට ක්ලාන්ත ගතියක් දැනේ,
ගතටත්,සිතටත්, මහා
වේදනාවක් දනෙයි..
ඇගෙන් මිදී ජීවත්විය
නොහැක්කා සේය...,
ඇගෙන් තොර ලොවක්
නොමැත්තා සේය!

හිසට මහා බරක් දනේ..
ලෝකයම මා වටා කැරකැවී
මා හිසට පාත් වූවා සේය.
ඈ සමග සිටියා නම්
මීට හොදය.......

උතුර උතුරා ගිය
අගේ මතකයන් මත,
මම ඇද වැටුනෙමි..
ඇගේ මතකයන් මත
මම,
වැතිර ගත්තෙමි.
ඈ "කුමක්දෝ" කියනු
ඇසේ...

හදවතේ වෙසෙන තාක්
මට ජීවත් වෙන්නට
ඉඩ නොදුන්නේ,
තීය.....
අද මා මියෙන්නට සැරසෙන විට,
තී ඊටත් ඉඩ නොදෙන්නේද?
නැත!නැත!
මම තී තුරුල්කර මියයමි....

Saturday, June 5, 2010

මෑණියනි........

දැනෙන විට පාලුවක්
සිතට ලොකු තනිකමක්
ළගට විත් ආදරෙන්
තනි මැකූ මෑණියනි........

සක්වලම කළඹවා
ආදරය එකතුකර
ඇගුලිතුඩු අගට ගෙන
මගේ හිස අතගගා
ආදරේ අරුමයන්
සිතට කොදුරා කියා
ආදරය ඉගැන්වූ මෑණියනි.......

දකින සිහිනයන් රෑ
ජීවිතය යැයි සිතා
නොදන ගොස් මග හසර
මoමුලා වූ විටදි
පුතුනි,සිහිනය මෙයැයි
ජීවිතය නම් මෙයැයි
කියා මට සෙනෙහසින්
මග නොමග
කියාදුන් මෑණියෙනි.....

කාලයන් ගෙවී ගොස්
උකුලෙ නැලැවුන පුතා
ඔබෙ හිසට, උරහිසින් සමව ඇත
ඒ නමුත් පෙර මෙන්ම
දෙදන පා යුග ඔබා
ඔබෙ දෙපා සිඹින්නෙමි
එවිට ආඩම්බරය
පිරීගිය ඔබෙ නුවන්,
පුරෝගෙන කදුලකින්
මගෙ පපුව ආදරෙන්
සිපගන්න මෑණියනි......

හතවතට ඔබ බොහෝ ලන්වී
එලෙස මා හද සනසවන විට
ඔබට බැදි ආදරය උතුරා
නුවන් ඒ තුල ගිලී යනවිට,
නෙත් කෙවෙනි තුල බොහෝ කල් සිට
වෙසෙන ඔබවත් එදියෙ ගිලුනිද?
දෙතොල් ලන්කර මගේ සවනට
සිහින් ස්වරයෙන් කියාපන් මට......

මැදියමේ පොත් අතර සැගවී
නව ලොවක් මාගොඩ නගන විට,
එබී මා උරහිසට ඉහලින්
තබා ඔය අත මගේ හිස මත
"ඉතින් තනි වී නොමැත පුත නුඹ"
කියා දහිරිය කවා සුසුමක
මලානික වූ ගතට හෙලමින්
පණපොවාලන මෑනියනි......

ඔබේ ඔය උකුල මත
හෙමින් හිස තබාගෙන,
සෙනෙහෙ සුව විදින්නෙමි
පෙර කලෙක විද පුරුදු..

බිලිදු කල ඇසි ගීත නැලවිලි
ඔබට කියවා අසා ගන්නෙමි
එකල දග කල මතක සටහන්,
ඔබේ දෑසින් බලා ගන්නෙමි
දිනෙන් දින මා ගතින් තරුණව
වැඩෙන බව දන්නා නමුදු; මම
සිතින් තවමත් බිලිදු පුතු වෙමි,
උකුලෙ දගකල බිලිදු පුතු වෙමි.......

Tuesday, June 1, 2010

පෙලේගෙයා නිලව්නා..

පෙලේගෙයා නිලව්නා..
හිමකබාය තුල සැගවුණ
තහනම් පත්තර
කම්මලට ගෙනයන....,
බැටන් පොලු මත නිදන
පොලිස් සෙබලුන් සමග
'ජනතා හිතවාදී'
කම්මල් හිමියන්
උකුසු ඇසකින් බලාවී!

ඔබ කෑ ගසන හඩ
දුම්බටේ ගොර ගොර හඩ
පරදවන්නට
වෙරදරයි...
නමුත් අපොහොසත් වෙයි!
"ගෝවා සුප්,මැකරෝනී"
ඔබ හඩ තලයි..
යන්ත්‍රයට දියවූ,
දුමින් කළුගැසුනු,
ඔවුන්,
ඔබ වෙතට එයි....

ගෝවා මැකරෝනී විකිනෙයි!
දරු ස්නේහය ඉතිරී,
ඔබ මදහස් නගයි...
ගෝවා සමග පත්තරද බෙදෙයි!
ලොවක් ජයගත් ලෙසට,
ඔබට හැගෙයි...

ඒ අතර එකෙක් කෑ ගසයි,
"පව්ලූෂා මතක කල බව කියන්න"
අම්මා සුසුමක් හෙලයි..
පාෂා,අන්දෘෂා,පියෝදර්,
යකඩ පොලු ගනියි!
ඉන් එහා වූ ලොවක,
නිකොලායි,ශාෂා,සෝපියා,
අතරමග හිරවෙච්චි,
අලුත් ලෝකය හදයි...

නොනවතින අරගලය
දහඩියෙන්,රුධිරයෙන් තෙත්වී,
ඉදිරියට ගලායයි..
ඒ අතරට "අම්මේ" ඔබ
කදුලු බිදු එක් කරයි......!


[මැක්සිම් ගෝර්කි ගේ "අම්මා" කෘතිය ඇසුරෙනි..]